
SpaceX සමාගමේ Starship IFT-2 පරීක්ෂණ පියාසැරිය ශ්‍රී ලංකාවේ වේලාවෙන් නොවැම්බර් 18 ප.ව. 6:30 ට පමණ සිදු කෙරුණ අතර එය නොවැම්බර් 17 දියත් කිරීමට නියමිත තිබුණි.තාක්ෂණික ගැටලුවක් නිසා එය අද දිනට කල් දමන ලදී. ටෙක්සාස්හි පිහිටි Starbase අංගනයේ starship එක සදහාම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද වේදිකාව මතින් මේ සුවිශාල යානය දියත් කෙරුණි.
පළමු අදියරේ Super Heavy බූස්ටරයේ රැප්ටර් එන්ජින් 33ම සාර්ථක ලෙස දැල්වෙමින් රොකට්ටුවට ත්වරණය ලබා දෙන්නට සමත් වූ අතර පළමු පියාසැරියේ රැප්ටර් එන්ජින් කිහිපයක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා එය අසාර්ථක විය. පළමු අදියරෙන් දෙවැනි අදියර වෙන් වන ‘Hot Staging’ අවස්ථාව ද ඉතා සාර්ථක ලෙස නිමා කරන්නට එය සමත් වූ අතර මෙම Hot staging ලෙස හදුවන්නේ පළමු අදියර දෙවැනි අදියරෙන් වෙන් වන්නට පෙර දෙවැනි අදියරට අයත් එන්ජින් හය දල්වා තැබීම නිසයි. ප්‍රථම වතාවට අත්හදා බැලුණු එය අතිශය සාර්ථක ලෙස සිදු කෙරිණි.සාමාන්‍යයෙන් අදියර කිහිපයක් සහිත රොකට් දියත් කිරීමකදී සිදුවන්නේ පළමු අදියර වෙන්වූ පසු දෙවන අදියරේ එන්ජින් ක්‍රියාත්මක කිරීමයි.
දෙවැනි අදියර වෙන් වී අභ්‍යවකාශය බලා පියාසර කරන විට වෙන් ව පැවති පළමු අදියර යළි පහළට පැමිණ විනාඩි හතක කාල රාමුවක් ඇතුළත මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත මුහුදට පතිත වීම සැලසුම වී තිබුණි. නමුත් එහි ආපසු ගමන සදහා උපකාරී වන එන්ජින් නිසි පරිදි ක්‍රියාත්මක නොවූ අතර එහි යම් තාක්ෂණික දෝෂයක් ඇති විය. SpaceX බලධාරීන් එය හැඳින්වූයේ “rapid unscheduled disassembly” ලෙසයි. මේ නිසා Flight Termination System (FTS) හෙවත් පියාසැරි නිශ්ක්‍රීයකරන පද්ධතිය ක්‍රියාත්මක කර බූස්ටරය පුපුරුවා දමන්නට කටයුතු කෙරුණි.
මේ අතර දෙවැනි අදියර සාර්ථක ලෙස නියමිත ගමන් පථය ඔස්සේ අභ්‍යවකාශය බලා ධාවනය වෙමින් පැවතුණි. එහි වූ රැප්ටර් එන්ජින් 3 සහ රැප්ටර් වැකියුම් එන්ජින් 3 සාර්ථක ලෙස දැල්වෙමින් තිබූ අතර Starship 25 දෙවැනි අදියර පොළොවට නිරීක්ෂණය වුණේ දීප්තිමත් ආලෝක ප්‍රභවයක් ලෙසයි. කෙසේ වුවත් කිලෝමීටර 148ක උන්නතාංශයක පැවතිය දී එය හා පැවති සන්නිවේදනය සබඳතා බිඳ වැටුණු අතර ඒ වන විට එය ගමන් කරමින් පැවතියේ පැයට කිලෝමීටර 24,000ක වේගයකින්. ඉන් ස්වල්ප වේලාවකට පසු එය සතු FTS පද්ධතිය ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක වී තිබුණි.
සැලසුම වී තිබුණේ දෙවැනි අදියර කක්ෂයකට නො පිවිසී පෘථිවිය වටා එක් වටයක් ගොස් විනාඩි 90 ක් ගත වූ පසු හවායි ආසන්නයේ මුහුදට ගොඩබස්වා starship 25 මුහුදේ ගිල්වා දැමීමටයි. නමුත් දෙවැනි අදියරේ අවසානය සේම එය ද විනාශයේ මගට වැටුණි.
මෙවර Starship දියත් කිරීම පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ IFT-1ට වඩා සාර්ථක බව පෙනෙන්නට තිබෙන අතර Orbital Launch Mount ලෙස හැඳින්වෙන දියත් කිරීමේ පීඨිකාව පසුගිය වර දියත් කිරීමේ හමුවේ දැඩි අලාභානිවලට ලක් ව තිබුණි. ඉන් ගැලැවී ගිය කොන්ක්‍රීට් කොටස් බොහෝ දුරකට විසි වී ගොස් තිබූ ආකාරය ලොව පුරා මාධ්‍ය වාර්තා කළ ආකාරය ඔබට මතක ඇති බව මම විශ්වාස කරමි. නමුත් මෙවර එය මත ස්ථාපනය කර කිබූ ජලයෙන් සිසිලනය වන ඝනකම් වානේ තහඩුව එයට ඉතා හොඳින් ඔරොත්තු දී තිබුණ අතර එය පෘථිවි මානවයාගේ විශ්මිත ඉංජිනේරු තාක්ෂණික දියුණුව මනාව පසක් කරයි.
පසුගිය වර පළමු අදියර සහ දෙවැනි අදියර වෙන් වීම නිසි පරිදි ක්‍රියාත්මක නො වූ අතර මෙවර එය මනා ලෙස සිදු කිරීම සඳහා පළමු වරට අත්හදා බැලූ Hot staging තාක්ෂණය ද සාර්ථක වීම සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස පෙන්වා දිය හැකියි.
එසේම ඉදිරි මෙහෙයුම් සදහා අත්‍යවශ්‍ය දත්ත රැස් කර ගැනීමට ද SpaceX තාක්ෂණික කණ්ඩායම් වලට හැකි විය.
එසේ ම අභ්‍යවකාශයේ සම්මත සීමාව ලෙස සැලකෙන කිලෝමීටර 100ක් ඉහළින් ඇති කාමන් රේඛාව පසු කළ පළමු Starship යානය ලෙස ද Starship 25 යානය ඉතිහාසයට එක් වන අතරම එම සීමාව පසු කළ පෘථිවි මානවයා නිමවූ සුවිශාලම යානයද මෙය ලෙස ඉතිහාසගත වනු ඇත.
Discover more from Pasindu Lakshan Perera
Subscribe to get the latest posts sent to your email.